Wednesday 14 April 2010

සංක්‍රාන්තිය හෙවත් සොංක්‍රාන්

සියළු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !

මේ දවස් වල හරිම ගිරීස්මෙ. තායිලන්තෙ ඉතින් කවදත් ගින්දර වගේ රස්නෙයි තමයි. ඒත් මේ දවස් වල ඒක ඩබල් වෙලා වගෙ. ඒ නිසාද කොහෙද මේ දවස් වල මෙහේ අපූරු ක්‍රීඩාවක් වෙනව. ඒ තමයි වතුර ගැසීමේ සටන.


පාරෙ එහෙ මෙහෙ යන ඔනෑම කෙනෙක්ට, වයස් භේදයකින් තොරව වතුර බාල්දියකින් සංග්‍රහ කිරීමට පාර දෙපස මිනිස්සු සැදී පැහැදී ඉන්නව. පොඩි එවුන්ට නම් මේක හරිම ජොලි කාලයක්. හැම තැනම දුවලා පැනල දකින ඕනම කෙනෙකුට water gun එකෙන් වෙඩි තියන එක තරම් තවත් ‍‍ජොලි වැඩක් තියනවැයි ?
මට මතකයි පොඩි කාලෙ මම වතුර එක්ක සෙල්ලම් කරොත් අම්ම බනිනව "මොකද, හෙම්බිරිස්සාව හදාගන්නද හදන්නෙ.." කියල. ඒත් මෙහේ අම්මල නං පොඩ්ඩන්ට විවිධාකාර water guns අරන් දෙනව මේ දවස් වල. මට පොඩ්ඩක් ඉරිසියයි..

අප්‍රේල් 13 සිට 15 ‍තෙක් මෙහේ නිවාඩු. මේ නිවාඩුවට කියන්නෙ සොංක්‍රාන් කියලා. ඉතින් පවුල් පිටින් වාහන වල නැගල විදි සංචාරයේ යනව වතුර ගහගන්න. බැංකොක් වල කඔසාන් වීදිය (kao san street) මේ සඳහා විශේෂයි. විදේශීය සංචාරකයිනුත් මෙම වතුර සටනට බොහෝ ප්‍රිය කරනව. නිකං වතුර, අයිස් වතුර, සුවඳවත් කළ වතුර ගැසීම ව‍ගේම වතුරේ දියකළ පවුඩර් වලින් මුහුණු පාට කිරීමත් මම අත්දැකපු දේවල්. හැබැයි අපේ සමහර අයියල තරහට කරනව වගේ ගොම දියකළ වතුර හෝ මඩ වතුර ගැසීමක් නම් මෙහේ වෙන්නෙ නෑ.. මොකද මේ සියල්ල කරන්නෙ විනෝදය සඳහනේ..

නමුත් මේ සැරේ කඔසාන් වීදිය වසා ඇති බව දැනගන්න ලැබුනා. ඊට හේතුව මම කලින් කියපු මේ දිනවල පවතින දැවැන්ත උද්ඝොෂණයයි. ඒත් වතුර ගැසීම නං අඩුවක් නැතිව හැම තැනම දක්නට ලැබුනා.

මොකක්ද මේ සොංක්‍රාන් වල නියම අරුත කියල නම් නූතන තායි තරුණ තරුණියන්ට කිසී වැට්‍හීමක් නැති ගානයි. ඒක හරිම කණගාටුවක්. ඇත්තටම මෙහි නියම අරුත අපේ සිංහල අවුරුද්ද හා සමානයි. සොංක්‍රාන් යනු සංක්‍රාන්ති සමයයි. අපෙ වගේම මෙහෙත් සාම්ප්‍රදායිකව සොංක්‍රාන් සමරන්නෙ ගම්බිම් බලා යෑමෙන්, ගේ දොර අළුත් වැඩියා කිරීමෙන්, වැ‍ඩ්හිටියන්ට අචාර කිරීමෙන් ආදියෙන්. මේ දිනවල තායි පන්සල් වල කෙරෙන චාරිත්‍රයක් වන්නෙ බුදු පිළිම සුවඳ පැන් වලින් දොවනය කිරීමයි. ඒ වගේම හාමුදුරුවන් වහන්සේල මිනිස්සුන්ට පිරිත් පැන් ඉසිනව. වතුර ගැසීමේ චාරිත්‍රයේ මුල මෙය විය හැකියි.

මොකද කියන්නෙ ? අපිත් පටන් ගමුද වැඩේ ? ;)